Monday, August 8, 2011

සරසවිය

සරසවි බිමෙහි පා සටහන්
දොඩමලු වූ සියක් වදන්
අප හද තුල සිසාරා යයි
පැතුම් පොදි බැඳන්

හන්තානේ කඳු ගැටපෙල
නුවර වැවේ නිසසල දිය
අතීත නටඹුන් අතරට
පාවෙලා ගිහින්

දළදා සමිදුන් අභියස
කෙලෙස් මිදුන සැන්දෑවක
පහන් සිතින් මල් පුදන්න
අවසරයි ඉතින්

Wednesday, July 27, 2011

පියාණෙනි

සියපතක්මය නුඹ
දසත සුවඳ පැතිරෙන
පුර හඳමය මට
ගණ අදුර දුරලන
ඔබෙන් උගත දෑ අතරින්
අවංක සිතුවිලි,යහපත් චේතනා
නිබඳවම රැව් නැගේ
හිරු නැගෙන හැම පැයේ

සෙවනැල්ලක් සේ
මා ළඟින් සිටය නුඹ
පාරවා මා හද
කිමද අද ලෙඩ ඇඳේ?
මා හට නුඹ අවැසි මොහොතක
ඔබෙන් තොර ලොවක් ගැන
නොසිතමි කිසිදාක

සකල ලෝකයා වෙතම
ඔබ කළ ඵ් මෙහෙවර
ඉදිරියටම ගෙනයමි මම
වෛද්‍යවරියක ලෙසින්
කුසල් දම් පුරමින්ම
ඔබෙ නමින් හැමදිනම

දයාබර පියාණෙනි ඔබෙ
කරුනාව මෛත්‍රිය
මුසු වදන් ඇසීමට
නිදුක් නිරෝගී සුවය ලබනු මැන

2009 වසරේදී ලියන ලදී

ගෙවිලිය

අරුණලු නැගෙනා හිමිදිරියේ
සවනට ඇසෙනා ගී රාවේ
කඳුකරයේ මිටියාවත දෙසිනුයි -
        පවනට මුසුවන්නේ

♫ කිරිකැටි බිළිඳුන් නැළැවෙන්නේ
ගෙවිලිය වෙසෙන පැලේ .....

පුතු ඉපදුන මේ රන්වන් පොළවෙහි
යසස දැනෙයි ඒ ගී රාවේ
කඳුකරයේ ගම්මානෙ ම නිදහස -
        ඵ් ගී පදවල මුසුවන්නේ

♫ කිරිකැටි බිළිඳුන් නැළැවෙන්නේ
ගෙවිලිය වෙසෙන පැලේ .....

සිඳාඳියේ ලඳුනගෙ තොල් සායම්
පොද වැස්සට සේදී යන්නේ
දහදිය සුවඳින් මිහිකත සනහන -
        කිරුළයි ඇය මේ මිහිමඩලේ

♫ කිරිකැටි බිළිඳුන් නැළැවෙන්නේ
ගෙවිලිය වෙසෙන පැලේ .....

Tuesday, July 26, 2011

ප්‍රථම ප්‍රේමය

හිරු ද සැඟවී - සඳු ද සැඟවී
නැවුම් පැතුමන් සැඟවිලා
මුහුද නිසල ය - අහස අඳුරු ය
ඔබේ පැතුමන් බොඳවෙලා

සිතේ පිබිදී - හදෙහි මේරූ
ප්‍රථම ප්‍රේමය ගොළුවෙලා
ඔබේ පැතුමන් - පුබුදුවන්නට
නැත වරම් මට හිමිවෙලා

නෙතින් කඳුලැල් - සෝ සුසුම් රැල්
පාවි යන්නට ඉඩහලා
පිපුණු කැකුළක - සුවඳ විහිදන
තාරකාවකි ඔබෙ සිනා

හද රුවාගෙන - නෙත් අයාගෙන
නොම බලාහිනු මා දිහා
පසක් වුනි ඔබෙ - ප්‍රථම ප්‍රේමය
උපන් ගෙයිදි ම මියැදුනා

Monday, July 25, 2011

ඇල්ල පාමුල

ගලා හැලෙන දිය ඇල්ලක - බුරා නැගෙන පෙණ පිඬු හඬ
අතීතයේ වේදනාව - මෙනෙහි කරනවා
ලතාවකට ගලා බසින - සුදුමීදුම් සළු අතරෙහි
ඔබේ වතකමළ මගෙ මතකයට නැගෙනවා

ගල්කුළු අතරින් දිවයන - නිල්වන් දියරැළි මතුපිට
අනාගතයෙ මං සලකුණු - ලියා තිබෙනවා
ඈතින් ඈතට දිවයන - නිල්වන් දියදහර තුලින්
මතු දිනයක යලි හමුවන නිමිති පෙනෙනවා

දොළ පාමුල නිසලය ඔබ - නෙතට පෙනෙනවා
සුන්දර මතකයන් බිඳක් - සිතට දැනෙනවා
විඩාබරවූ ඔබේ දෑස - මදෙස බලනවා
අතීතයේ මිහිරියාව - තුරුලට ඵනවා

පැලේ තනිය

හිරු බැස යන සැන්දෑවක
සිහිල් සුළං රැළි අතරින්
මා හද කුටියට වැඩියේ
කිම ද සොඳුරියේ //

ගන අඳුරේ රෑ යාමේ
අඳුර පලා නුඹ හඬනා
හඬ මා හද සසල කලේ
කිම ද සොඳුරියේ //

පහල වෙලත් පුරන් වෙලා
වල් බිහි වී ඇත හේනේ ය
මම තනිවම කාන්සියෙන්
බලා සිටින්නේ //

නිල් ගොයමත් කිරි වැදිලා
රන් අස්වනු නෙලන දාට
ටිකිරි හිනා හඬ සමඟින්
වඩිනු සොඳුරියේ //
මා වෙත වඩිනු සොඳුරියේ...

පෑන අවදි විය

දුවපැන යන සමනළ වියෙ
ගුවන්විදුලි සින්දුවකට
තාලයකට පාද තබන
පුංචි දෝණි දුටුවිට ඔබ
පන්තියකට අරන් ගියා
නැටුම් ශිල්පෙ හදාරන්න

කාලිංග ඔබේවංශ මා ගුරු පියාණනි
අද වනවිට ඔබ අප හැර ගොස්ය

ගැටබෙරයේ තම්මැට්ටමෙ
තාලයටම නැටුම් නටන
අංග චලන හොඳින් පෙනෙන
උදේනි නම් ඵකම නමින්
සිසුවියන්ම දෙදෙනෙකි ඵහි
පුදුමයක්ම නොවේද ඵය

කාලය ක්‍රමයෙන් ගතවිය
විභාග භීතිකා මතින්
නැටුම මගේ අවසන් විය
ලොවෙන් ඵකෙක් ඵක් දෙයකට
සමත් වෙතැයි කියන ලෙසට
වෛද්‍යවරියක ම ලෙසින්

සමාජ හා සංස්කෘතියෙ
පරිහානිය දකින විටදිය
පාසල් යන දරුවන්ටත්
යොවුන් වියේ ඔබ සැමටත්
බුද්ධිමත්වු ඔබ කාටත්
පෑන අවදි කරනු පිනිස
ඇරඹුනි මේ මං මාවත

මගේ පාසල් විය

පස්වැන්නේ ශිෂ්‍යත්වය
සමත්වෙලා ප්‍රතිඵලවිත්
ගෙදර ඇවිත් කිව්වට පසු
තාත්ත මා කරේ තියන්
ගේ වටෙ රවුමක් ඇවිද්ද

මිලාගිරිය මව් තුරැලෙහි
වේදිකාවෙ සැරිසරන්න
යම් පමණින් ඉඩක් ලැබුනි
මිතුරිය දීපානි සමග
ඇය අද ඇත ලෝතලයෙහි
මිනිසුන් හට පෙනුම දෙන්න
අක්ෂි ශල්‍ය වෛද්‍ය ලෙස

ඵක් දිනයක මුහුදු රළට
විශාල තල්මසෙක් ඇවිත්
ආරංචියි හැම තැනකම
යාලුවො ටික දෙනෙක් සමග
පාසල් බස් රථයෙන් බැස
ගියා මාත් ඵය බලන්න
අද වනවිට මගෙ මතකය
යෝධ ගලක් පමණකි ඵය

ගෙදර යන්න ප්‍රමාද වී
ගෙදර අයත් කලබල වී
අම්මා ඇතුළු ගෙදර සැවොම
කඳුළු සලයි මම යනවිට

අඬන්නෙ ඇයි මේ අහන්න
ජීවිතයෙම කවදාවත්
තල්මසෙක් ව දැක තිබේ ද?
මෙතන ඉන්න ඔබ කවුරුත්
මෙන්න මෙහෙම ඌගේ හැටි
විස්තර විය හොඳ හැටියට
නාට්‍යයක විලාසයෙන්
රඟ දැක්විණි අපූරුවට

කඳුළු මතින් සිනා සිසී
අම්මා දුන් ඔවදන මට
ආයෙත් නම් කිසිම දිනක
අවසර නැති ගමනක් නම්
එපා යන්න මගේ දුවේ

කීකරු දියණියකි ය මම
මගේ මවුනි මා අද තෙක්

Sunday, July 24, 2011

පෙර පාසැල් විය

අවුරුදු හතරක් වනවිට
අකුරු ශිල්ප හදාරන්න
ගේ ළඟ ඇති පාසලකට
අම්ම මාව රැගෙන ගියා

අනෙක් ළමයි කාර් එකෙන්
පෙර පාසල් එනව දැකල
මටත් එහෙම ඕනෙ කියල
ගෙදර ඇවිත් හොඳට ඇඬුව

අක්කල මට හිනාවුනා
මගේ තවත් හිත රිදුනා
මෙච්චර ළග පාසලකට
මොන කාර්ද පුංචි දුවේ
මගේ අම්ම මා ඇමතුව

ඊළඟ දවසත් ආවා
කරන්නම්කො හොඳම වැඩක්
රමනි ටීචර් ළඟට ගිහින්
හොඳ හැටියට කඳුළු හෙලුව
රමනි ටීචර් දුචල ගිහින්
සෙල්ලම් කාරයක් ගෙනත්
පුංචි මගේ අතේ තැබුව
ඒක අරන් පොලොවෙ ගහල
ටීචගෙ කුස්සියට දුවල
ටිචගෙ අම්මා ඵක්කල
කොස් ගෙඩියක මදුලු කැපුව

අනේ මගේ පුංචි කෙල්ලෙ
ඔයා අනාගතේ දිනක
හොද බිරිඳක් වෙනවාමයි
රමනි ටීචර් කියනු ඇහුන

පුංචි අතේ කොහොල්ලැ ටික
පොල්තෙල් ගා සෝදාලා
රමනි ටීචර් මාව වඩා
මගේ නළල සිප ගත්තා
ඊට පස්සෙ දවසෙ සිටන්
හැමදාමත් කුස්සියෙමයි
ටීචර්ටත් හරිම දුකයි

පෙර පාසල් හැරයාමේට
කාලය දැන් ළඟට ඇවිත්
රමනි ටීචර් 'අ' කිව්වම
'අ'ම්'මා--අම්මා
'තා'ත්'තා--තාත්තා
කොහොමද මේ පුංචි කෙල්ල
කුස්සියෙ සිට මේව දන්නෙ
නිම්හිම් නැති සතුටු සිතින්
ටිචර් මාව බදා ගත්ත

බාලාංශෙ ඉගෙනුම මගෙ
ධනාත්මක චින්තනයට
ගෙනගිය මගෙ ගුරුතුමියට
උපහාරෙකි මේ නිසදැස
අපගේ පෞද්ගලික අපේක්ෂා හා ප්‍රාර්ථනා නැමැති දර්ශනය අසලදී ලොව පවතින විට එය ප්‍රසංශා මුඛයෙන් කතා කරන, විමසන හා තීරණය කරනා විට අප කලාවෙහි හා විද්‍යාවෙහි යථාර්ථය තුලට ඇතුල් වෙයි.
                                                                                       - ඇල්බට් අයින්ස්ටයින් -
මා භෞතික විද්‍යාඥයකු නොවූයේ නම් මා නිසැකවම සංගීතඥයකු වන්නට තිබිණි. මම නිරතුරුවම සංගීතය පිළිබඳ සිතුවෙමි. මා සිහින දුටුවේ සංගීතය තුළ යත. මම මගේ ජීවිතය සංගීතය ඇසුරින් දකිමි. ජීවිතයේ උපරිම ආශ්වාදය මා ලබනුයේ සංගීතයෙනි.   
                                                                         - ඇල්බට් අයින්ස්ටයින් -
සියලු ආගම්, කලාවන් හා විද්‍යාවන් යනු එකම ගසක ශාඛාවන් ය.මේ සියලු ප්‍රාර්ථනාවන් සරල භෞතික පැවැත්මත් තුලින් ඔසවා පුද්ගල නිදහස දෙසට යොමුකර උතුම් බවට පත් වන්නා වූ මිනිස් ජීවිතය දෙසට ගමන් කරවයි.
                        - ඇල්බට් අයින්ස්ටයින් -